අර්ජුන මැතිව්ස්ට ලකුණු දෙයි - තිලංගට දුස්රාවක් යවයි


ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යාපනයේදී පැවසීය.

ගෙදරට ගොස් දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කරන රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පොලිසියට කැඳවීම අර්බුදකාරී තත්ත්වයක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මෙසේද කීය.

' වැරැද්දක් වෙලා තියෙනවා නම් පරීක්ෂණයක් කරන්න ඕනෑ බව මම හැම වෙලාවේම කියනවා.එහෙත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ළඟ එන අවස්ථාවක මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක්.ක්‍රීඩා අමාත්‍යවරයාත් , ක්‍රිකට් ආයතනයත් මෙවැනි තීරණයක් ගැනීම ප්‍රශ්නයක්.'

'අද ක්‍රිකට් පරිපාලනයට සූදු ව්‍යාපාරිකයින් ඇවිල්ලා.ක්‍රීඩා ඇමැතිවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මීට වගකිව යුතුයි.රටේ ක්‍රීඩා මුදලට යටනොවන තත්ත්වයකට පත් කළ යුතුයි.එහෙම නොවුණොත් අපි හදපු ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාත්,ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් සහය දුන්නා වගේ වෙනවා.'

'මැතිව්ස් පරීක්ෂණ වලට සහාය දෙනවා කියලා තියෙනවා මම දැක්කා.එහෙම අවස්ථාවක මේ සියල්ල දැක්මක් සහිතව කළ යුතුයි.එහෙම නොකළොත් ලංකාවේ ක්‍රීඩකයින් පමණක් නොවෙයි.කණ්ඩායමත් අපකීර්තියට පත්වෙනවා'. අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.