අයිස් අමුද්‍රව්‍ය සොයාගත් ඉඩමෙන් ගිනි අවියක් සොයාගනියි


(පද්මසිරි ගාර්දියවසම්)

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක නිවසේ දුම් කවුළුවක සහ නිවස පිටුපස විශාල තල් ගසක සගවා තිබූ මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක්, පොලිස් නිළ ඇදුම් කොටස් සහ වාහන අංක තහඩු දෙකක් අද (08) සවස සොයාගත් බව පොලිසිය පැවසීය.

මෙම ඉඩම සහ නිවස ප්‍රාදේශීය දේශපාලඥයෙකුට අයත් එකකි.

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සහ මිද්දෙණිය පොලිසියේ නිළධාරින් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක් , බෝර 12 පතොරම් තුවක්කුවක බැරල් දෙකක් ,ඒවායේ ක්‍රියාකාරී කොටස් එකක්, පොලිස් බැටන් දෙකක් ,බැටන් රදවනයක් , පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් 03 ක් පොලිස් ක්‍රීඩා බොටම් දෙකක් , පොලිස් නිළ ඇදුම් රෙදි , ටී 56 අවි පටි එකක්, අංක තහඩු දෙකක් සොයාගත් ද්‍රව්‍ය අතර වන බවද පොලිසිය පැවසීය .

සිද්ධිය සම්බන්ධව සැකපිට 78 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු ප්‍රදේශය අතහැර පලාගොස් සිටින ප්‍රාදේශීය දේශපාලඥයාගේ පියා බවද පොලිසිය පැවසීය .

මිද්දෙණිය පොලිසිය සහ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුකරති .