(ඉන්දිකා රාමනායක)
පැපිලියාන, වික්‍රමරත්න මාවතේදී පසුගිය 30 වැනිදා අලුයම පොලිස් පරීක්‍ෂකවරයකුට මරුකැඳවූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය මත්පැන් බී සිටි බවට නඩු පැවරීමට පොලිසියෙන් සිදුකළ ස්වසන වායු පරීක්‍ෂණය ප්‍රමාණවත්යැයි රථවාහන සහ මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අනතුර සිදුවූ දින එම වෛද්‍යවරිය පොලිසිය විසින් ස්වසන වායු පරීක්‍ෂණයකට භාජන කළ අවස්ථාවේ ඇය බීමතින් සිටි බව හෙළි වූ බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්වසන වායු පරීක්‍ෂණ වාර්තා ඇයට එරෙහිව නඩු පැවරීමට යොදාගන්නා බවද කියා සිටියේය.
ස්වසන වායු පරීක්‍ෂණය සඳහා දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද අතිවිශේෂ බැලුනයේ කහ පැහැති පටියක් ඇති බවත් බීමතින් සිටින පුද්ගලයකු එය පුම්බන විට එම පටිය කොළ පැහැයක් ගන්නා බවත් ඔහු කීය.
අනතුර සිදුවූ දින වෛද්‍යවරිය එම බැලුනය පිම්බූ අවස්ථාවේ එය කොළපාට පැහැයක් ගත් බවද අජිත් රෝහණ මහතා කීය.
මෙම වෛද්‍යවරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයකු ඇගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කළද එය ප්‍රමාණවත් නොවන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අනතුර සිදුවීමට කලින් මෙම වෛද්‍යවරිය සාදයකට සහභාගි වී ඇති අතර එම ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන ඇතුළු සාක්කි පොලිසිය සතුව ඇති බවත් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
අජිත් රෝහණ මහතා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.