අයවැය හිඟය කෝටි 35600කින් නගී


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය 24 වැනිදා ගෙනා අයවැයට සංශෝධන දෙකක් අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව 2015 වසරේ සමස්ත වියදම රුපියල් කෝටි තිස්පන්දහස් හයසියයකින් වැඩිකිරීම සහ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි හතළිස්හතර දහසකින් වැඩිකිරීම එම සංශෝධනයන්ට ඇතුළත් වී තිබිණි.

ඒ අනුව මෙවර අයවැය ලේඛනයේ සඳහන් අයවැය හිඟයට වඩා රුපියල් කෝටි තිස්පන් දහස් හයසියයකින් අයවැය හිඟය ඉහළ යනු ඇත.

මෙවර අයවැය වාර්තාවේ සමස්ත වියදම ලෙස සටහන් වී තිබුණේ රුපියල් කෝටි එක් ලක්ෂ අසූ එක් දහස් දෙසීය විසි නවයකි. එහෙත් මෙම සංශෝධනය අනුව 2015 වසරේ වියදම රුපියල් කෝටි දෙලක්ෂ දහසය දහස් අටසිය විසිනවයක් වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 24 වැනිදා ඉදිරිපත් කළ අයවැය වාර්තාවේ ණය ගැනීමේ සීමාව ලෙස දක්වා තිබුණේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස් හතර දහසකි.
එම ණය ගැනීමේ සීමාව නව සංශෝධනය අනුව රුපියල් කෝටි එක් ලක්ෂ හැත්තෑ අට දහසකි.

මේ අනුව රජයේ වියදම 2015දී රුපියල් කෝටි තිස්පන්දහස් හයසියයකින්ද, ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි හතළිස් හතර දහසකින්ද ඉහළ යන අතර 2015 අයවැය හිඟය රුපියල් කෝටි 35600කින් ඉහළ ගොස් ඇත.