අයවැය මල්වෙඩි සංදර්ශනයක්


‘‘ අයවැය මල්වෙඩි සංදර්ශනයක් වගේ. සද්දෙ දාගෙන පාට පාටින් පුපුරලා ගියා. ඒ වෙලාවේ හැමෝම හුරේ කියලා, අත්පුඩි ගහලා මේ ආශ්චර්යය දැකලා සන්තෝෂ වෙනවා. නමුත් අන්තිමේ දී ඉතුරුවෙන කිසිම දෙයක් නැහැ. සද්දෙයි පාටයි අර ඉරටු කෑල්ලයි විතරයි. අත්පුඩි ගහන අයටත් පස්සෙ තමයි තේරෙන්නේ තමන් දැකපු දේ අර්ථයක් නැහැ නේද කියලා ‘‘ යැයි අද ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේය.

ඔවුන් පවසන්නේ මෙවර අයවැයෙන් ධීවරයන් නොසළකා හැර ඇති බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අයවැයේ දී ධීවරයන් වෙනුවෙන් එක් මල්වෙඩිල්ලක් හෝ පත්තුකැර නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ඔහු මෙසේ ද කීවේය.

‘‘ අයවැය සෑදීමට පෙර අපි අගෝස්තු මාසේ හයවැනිදා ජනාධිපතිතුමාට අපේ ඉල්ලීම් පහක් ලබාදුන්නා. ඉන්ධන මිල අඩුකිරීම ඇතුළු කරුණු රැසක් එහි අඩංගු වුණා. නමුත් මේ ගැන කිසිම සැලකීමක් කරලා නැහැ. ධීවරයන් 250,000ක් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ලක්ෂ 15ක් ලංකාවේ ඉන්නවා. මේ නොසළකා හැරීම සුළුපටු දෙයක් නොවෙයි. “

මේ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති හා දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා මෙසේ කීවේය. 

“අයවැයෙන් ධීවරයන් වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ දශම තුනක් වැනි සුළු මුදලක් පමණයි. එහිදී මිරිදිය ධීවර ගම්මාන 1000ක් සෑදීමට රුපියල් ලක්ෂ 2000ක් වෙන්කරලා. එක ගම්මානයක් රුපියල් ලක්ෂ දෙකකින් හදන්න පුළුවන ද ? විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 50යි. මේ මුදල්වලින් වැඩ කරන්න බැහැ. නමුත් අපේ ධීවරයන් රටේ නිෂ්පාදන ආර්ථිකයට සියයට හතක දායකත්වයක් ලබාදෙනවා. ඔවුන්ට අයවැයෙන් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැළකිලි. “