
(ඩයනා උදයංගනී)
ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවත් ඇතැම් විට එය ලබන සතියේම විය හැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අයවැය ලබන නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු එහි විවාදය ආරම්භ වන බැවින් ඊට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ද කතානායකවරයා විසින් ලබන අඟහරුවාදා (20) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා පැවසුවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී.ල.නි.පය පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට හා අගමැතිවරයාගේ කමිටුවට මේ වන විටත් ලබා දී ඇති බවයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සාධනීය ලක්ෂණ ආරක්ෂා කර ගත යුතුය යන්න ශ්‍රී.ල.නි.ප ස්ථාවරය බව කී රාජ්‍ය අමාත්‍යවරයා නැතිනම් ගෙන එන නව ව්‍යවස්ථාවට හෝ එම කරුණු ඇතුළත් කළ යුතු බව පැවසීය.
20 වන සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, නීතිපතිවරයා කී කරුණු අනුව එයට පාර්ලිමේන්තුවේදී සංශෝධන ගණනාවක් එක් වනු ඇතැයි ද හෙතෙම කීවේය.
ඉදිරියේ දී නව ව්‍යවස්ථාවක් සකස් කරන විට 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය කළ අයුරින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්කර සියල්ලන්ගේ අදහස් ලබාගත යුතුය යන්න තම පක්ෂ ස්ථාවරය බවද මහ ලේකම්වරයා පැවසීය.
තම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිකරගත් ගිවිසුමේ ඇති පොරොන්දු ඉටු නොවන බවට ශ්‍රී.ල.නි.ප ජෙය්ෂ්ඨ උප සභාපති මහාචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී නැගූ පැනයකට පිළිතුරු දුන් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමඟ පසුගිය දා සාකච්ඡා කළ බවයි.
ශ්‍රී.ල.නි.ප පළාත් පාලන මන්ත්‍රීන්ට හා හිටපු පළාත් සභා මන්ත්‍රීන්ට ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නන් සේ සළකා ප්‍රතිපාදන ලබාදීම ඇතුළු කරුණු කීපයකට එහිදී එකඟ වූ බවද ජය්සේකර මහතා කීවේය.

