අඹෙිවෙල ගොවි පොලේ පිට අයට මැණික් ගැරීම නවත්වයි


(අංජුල මහික වීරරත්න)

බාහිර පුද්ගලයින් විසින් අඹේවෙල කිරි ගොවිපොළ භූමියේ සිදු කරන අනවසර  මැණික් ගැරීම වහා නැවැත්වීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

රජය සතු අඹේවෙල කිරි ගොවිපොළේ මැණික් ගැරීම සිදුවන බැවින් වහාම ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙසද කෘෂිකර්ම අමාත්‍යවරයා  පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්. සිරිල්  මහතාට පැවසීය.

දැනට රටේ වැඩිම හා වටිනාම මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපලට අයත් භූමියේ ඇතැයි සැලකේ. මේ වනවිට එම ගොවිපොළ පුද්ගලික අංශයට බදු දී ඉතාමත් සාර්ථකව කිරිගව පාලනය සිදු කරනු ලබයි. නමුත් ඇතැම් බාහිර පුද්ගලයින් මෙම ඉඩමට හොර රහසේ ඇතුළුව මැණික් ගැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් එම කටයුතු නැවැත්වීම සඳහා වහාම මැදිහත්වන ලෙස අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.