
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 1328ක අතිරේක මුදලක්ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 150ක අතිරේක මුදලක්ද වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල සම්මත කරගැනීමට නියමිතය.
රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ලද ණය මුදලකින් හෝ මෙම අතිරේක මුදල ගෙවිය යුතු බවටද එම යෝජනාවල සඳහන්වේ.
මෙම පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට මෙම මුදල් වෙන් කෙරෙන්නේ සංවර්ධන වැඩසටහන සඳහා වන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට එහි පුනරාවර්තන වියදම් වෙනුවෙන් එම මුදල වෙන් කෙරේ.
මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනා පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.

