අමාත්‍යංශ වැඩ බෙදෙන්නේ මෙහෙමයි


නව රජයේ ඇමැතිවුරුන්ට අයත් රාජකාරි හා ඊට ඇතුළත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

2015 ජනවාරි 18 වැනි දැතමින් 1897 /15 අංකයෙන් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ආරක්ෂක ඇමැතිවරයාට  දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 14ක් ද, ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, තරුණ හා සංස්කෘතික ඇමැතිවරයාට ආයතන 38ක් ද ඇතුළත් කර ඇත.

ආරක්ෂ ඇමැති ලෙස  සිරිසේන මහතා කටයුතු කරන අතර ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, තරුණ හා සංස්කෘතික ඇමැති වරයා ලෙස අගමැති වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද ජනපති සිරිසේන මහතාම වන අතර ඊට ආයතන 17ක් ඇතුළත්ය. ඒ අනුව සිරිසේන මහතා සතු ආයතන සංඛ්‍යාව 31කි.

පොලිස් දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත්ව ඇත්තේ මහජන සාමය, අපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා යටතටය.

මුදල් අමාත්‍යවරයාට අයත් ආයතන 35ක් එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

මේ අනුව වැඩිම ආයතන සංඛ්‍යාවක් ඇත්තේ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, තරුණ හා සංස්කෘතික ඇමැති ලෙස කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේය.

එම ගැසට් නිවේදනයට පහත වෙබ් ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය.

http://documents.gov.lk/Extgzt/2015/PDF/Jan/1897_15/1897_15%28S%29.pdf