අමාත්‍යංශ නියෝගය එනතුරු සිරුර ශීතාගාරයේ


(සිරංගිකා ලොකුකරවිට)     

                                                        
ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මත්මිය අද (21) නියෝග කළාය.     

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ, එම මරණය අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම සඳහා යොමු කරන බවට ගාල්ල ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කිරීමෙන් පසුව එයට එරෙහිව ඥාතීන් විසින් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුවය.        

මියගොස් ඇත්තේ 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. ඔහු තිදරු පියෙකු වන අතර, කොරෝනා වයිරසය ආසාදිතව සිට රෝහල්ගත කිරීමෙන් පසුව හෘද රෝගයක් හේතුවෙන් මිය ගියේය.

මෙම තැනැත්තාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා  නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ.

කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ලැබෙන තුරු සිරුර ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් දෙන ලෙස එහිදී මරණකරුගේ ඥාතීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ අගමැතිවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී සාකච්ඡා කළ පරිදි ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.          

එම කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මළ සිරුරු භූමදානය කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණයක් ලැබෙන තුරු මෙම තැනැත්තාගේ මළ සිරුර ශීතාගාරයක් තුළ තැන්පත් කර තබන ලෙස නියෝග කළාය.