අම්මාගේ කිරි ගවයා, පුතා මස් කඩේට දක්කයි


නොච්චියාගම මොරවක කන්දේ හත් දරු මවකගේ (73) කිරි හරකා මස් කඩයට විකුණා ඇතැයි දැනගත් පසු ඇය හඬා වැටෙමින් පොලිසියට ගියාය.

පැමිණිල්ලක් ද කළාය.

සැකපිට ඇගේ පුත්‍රයකු සහ අසල් වැසියකු අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.

රුපියල් 17,000කට මිලට ගත් හරකා ඊට පසු දින මරා තිබිණි.

නොච්චියාගම පොලිසිය මරණයට කැපවූ ගවයකු ඇය වෙනුවෙන් මිලට ගත්තේය.

පොලිස් සාමාජිකයන්ගේ ආධාරයෙන් මිලට ගත් මේ ගවයා, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා ඒ මවට පිරිනැමුවේය.