භාෂා පහක් කථාකරන එක් දරු මවක (38) ගෙවල් කිහිපයක් කුලියට ගෙන ඒවායේ වටිනා භාණ්ඩ ද, පනස් දෙනකුගෙන් පමණ රුපියල් 50,000 බැගින් ද වංචා කළැයි සැකපිට ගාල්ලේදී අද අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. නම් තුනකින් පෙනී සිටි බවට කියන මෙම සුරූපිණිය දෙහිවල ගෙයක් රුපියල් 65,000 කට කුලියට ගෙන දවසකට පසු දරුවාද එහි දමා ගිය බවත් ගෙදර කෞතුක භාණ්ඩ රැසක් එහි නැති බවත් කියති. අධිකරණය ඇගේ දරුවා ළමා නිවාසයකට යොමු කළේය.
මව ස්පාඤ්ඤයේද පියා ප්‍රංශයේද සිටින බව කියන මෙම කත අතුරුගිරිය මිලේනියම් සිටි, දෙහිවල හා පන්නිපිටියේ කුලී ගෙවල්වල සිටි බවද පොලිසිය පවසයි. එතෙර රැකියා ලබාදෙන බව කියමින් ඇය 50 දෙනකුගෙන් මුදල් ලබාගෙන ඇති බවටද පොලිසියට පැමිණිලි ලැබී ඇත. ත්‍රි රෝද රථ රියදුරුගේ ඔත්තුවකින් ඇය අත් අඩංගුවට ගනු ලැබීය.

