කහවත්ත කොටකෙතන දෙමිනිමැරීම් නඩුවේ පැමිණිල්ලේ සාක්කියට සැකකාර අඹුසැමි යුවළගේ දරු දෙදෙනා කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත විජේසූරිය මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා හමුවේ කියා සිටියේය.
නයනා නිල්මිණී (52) සහ කාවින්ද්‍යා චතුරංගි (18) මව සහ දියණිය 2012.01.31 වැනිදා ඝාතනය කළැයි ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ රසිකා චාන්දනී උදයකුමාරි හෙවත් බට්ටිට අද අධිචෝදනා බාර දුන්නේය.
ජූරි සභාවකින් තොර නඩු විභාගයකට සැකකරුවෝ කැමැත්ත පළ කළහ.
සැකකරුවනට ඇප ලබා දෙන ලෙස සැකකරුවන්ගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.
සැකකාර අඹුසැමි යුවළගේ දරුවන් පැමිණිල්ල වෙනුවෙන් සාක්කී දීමට නියමිත හෙයින් සැකකරුවනට ඇප ලබා දුනහොත් ඉන් නඩුවට හානියක් විය හැකි බව පැවසූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විජේසූරිය මහතා ඔවුනට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියේය.
නඩුවේ සැකකරුවනට ඇප ලබා දීමෙන් යුක්තිය පසිඳලීමට බාධාවක් විය හැකි නිසා දෙවැනි සැකකාරියට නියම කර තිබූ ඇප අවලංගු කරන ලෙසත්, සැකකරුවන් දෙදෙනාම නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසන් විනිසුරුවරයා නියම කළේය.
සැප්තැම්බර 30 වැනිදා සිට එක දිගටම නඩුව විභාග කරන බව ද විනිසුරු සෙනවිරත්න මහතා පැවසීය.
සබැඳි පුවත්

