අමරාවතියේ නගර සැලසුම් ශ්‍රී ලංකාවටත්


ඉන්දීය අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු සහ ප‍්‍රාන්ත ඇමතිවරු සිව්දෙනෙක් අද (08) මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමති චම්පික රණවක, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ප‍්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් මුණ ගැසුණහ.

විනාඩි 45 ක කෙටි සාකච්ඡාවක් තුළ දෙරටට වැදගත් සංවර්ධන කාර්යයන් රැසක් පිළිබඳව දෙපාර්ශවයේ අදහස් හුවමාරු කර ගැනිණ. එහිදී වත්මන් අන්ද්‍රා ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ‘අමරාවතී’ මහා නගරයේ නාගරික සැලසුම්, විධික‍්‍රම, නව තාක්ෂණික දැනුම සහ අත්දැකීම්, ශ‍්‍රී ලංකාවේ මහානගර වැඩපිළිවෙල සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ලබාදෙන බවට එකගත්වය ප‍්‍රකාශ කෙරිණි.

ශ‍්‍රී ලංකාවේ නව මහනගර හා බස්නාහිර සංවර්ධන සැලසුම පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළ අන්ද්‍රා ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය නයිදු කියා සිටියේ ඉහළ සැලසුම් සහ ශක්‍යතා සිදු කිරීමෙන් අනාගතයේ ඉහළ ප‍්‍රතිලාභ ලබාගත හැකි බවයි. එහි අත්දැකීම් තමන් සතු බවත්,රටට සහ මහජනතාව වෙනුවෙන් සිදු කරන සෑම ව්‍යාපෘතියකම ප‍්‍රමිතිය සහ ඵලදායීතාවය වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය.

15942061_10211929895229135_533764462_n 15942351_10211929895189134_1967165667_n 

ඡායාරූප - ශාන්ත රත්නායක