අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන් 37කට ඇප


ටෝනි කරුණානායක සහ වාරණ ඉ ජයකොඩි

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයාට පහරදී ඝාතනය සිද්ධියට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 32 දෙදෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නැයි ගම්පහ මහධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  අද (28) ඇප නියෝග කළහ.

මහාධිකරණ විනිසුරුවන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති) රශ්මි සිංගප්පුලි සහ ඩී.ඒ. රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරුවන්ට ඇප ලබාදීමට නියෝග කළහ.

විත්තිකරුවන් 37 දෙනකු මහාධිකරණය හමුවේ පෙනි සිටියහ. ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් 05 දෙනා හැර සෙසු විත්තිකරුවන් 32 දෙනාගෙන් එක් අකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ 04 බැගින් ශරීර ඇප 04 ක්  මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළහ.

ශරීර ඇප තබන එක් අයකු ළඟම ඥාතියකු විය යුතු බවත් ඇපකරුවන් දෙදෙනකු රජයේ හෝ පුද්ගලික අංශයක සේවය කරන අයවලුන් බවට සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවට නියම විය.

සෑම මසකම අවසාන ඉරුදින පෙරවරු 9 - 12ත් අතර නිට්ටඹුව පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසට ඇප නියම වූ විත්තිකරුවන්ට වැඩිදුරටත් නියම කෙරුණි. මෙම නඩුවට අදාළව නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනකුට විරුද්ධව ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ .

එසේ අධිචෝදනා ගොනුකර ඇති විත්තිකරුවන් දෙදෙනකු මියගොස් ඇති බවත් තවත් දෙදෙනකු විදෙස් රටකට පලා ගොස් ඇති බවටත් මහාධිකරණයේ දී සඳහන් විය .

ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වෙනිදා පස්වරුවේ නිට්ටඹුව නගරයේදී හටගත් මහජන නොසන්සුන්තාව අතරතුරදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් අහංගම විතාරණගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනයට ලක්ව තිබුනි .