( ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම සඳහා මුළුතැන්ගෙයි ගබඩා කර තිබූ වියළි ආහාර ද්‍රව්‍ය සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම හා හෝමාගම පදිංචි (38 - 54) වයසේ පසුවන එම රෝහලේම අරක්කැමියන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
මීට මාස කීපයක පමණ සිට අපේක්ෂා රෝහලේ රෝගීන්ට ලබා දීම සඳහා ගෙනැවිත් ගබඩා කෙරෙන වියළි ආහාර තොග අවස්ථා කිහිපයකදී අස්ථානගතවීම පිළිබඳව එහි පාලනාධිකාරියට තොරතුරු වාර්තා වීමත් සමග ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට වාර්තා වූ තොරතුරක් සම්බන්ධයෙන් මහරගම පොලීසියේ පැමිණිල්ලක් සිදුකර තිබුණි .
ඒ අනුව නිලධාරී කණ්ඩායමක් මහරගම අපේක්ෂා රෝහලට ගොස් එහි මුළුතැන්ගෙයි පරික්ෂා කිරීමේදී එහි තිබූ හාල් , පරිප්පු , බී ළූණු සහ එළවළු ඇතුළු වියළි ආහර තොගයක් රෝහලෙන් බැහැරට ගෙන යාම සඳහා ත්‍රී රෝද රථයක පටවා තිබියදී මෙසේ හමු වූ බව පැවසේ .
පසුව වියළි ආහාර ද්‍රව්‍ය පටවා තිබූ ත්‍රිරෝද රථය සහ රෝහලේ අරක්කැමියන් දෙදෙනකු අත්අඩංගුට ගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම කලක සිට කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් අරක්කැමියන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

