(මොහොමඩ් ආසික්)
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් තමන්ට ඇත්තේ ඔක්තෝබර් 26 වැනිදා රටේ ව්‍යවස්ථාවට සිද්ධ වූ උල්ලංඝණය නැවත නිවරුදි කර බලාත්මක කරවීම බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා කීය.
මහනුවර තැපැල් සංකීර්ණයේදී අද (28) වැනිදා සවස පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද කිය.
‘‘ප්රජාතාන්ත්රවාදය නැති වීම නීතියේ පාලනය නැති වීම කියන එකේ වැඩිම වින්දිතයින් බවට පත් වන්නේ අවසානයේ කාන්තාවන්.අපේ රටේ හුඟක් කාන්තාවන්ට මේක ගැන අවබෝධයක් නෑ.
පසුගිය 26 වනදා මේ රට දැක්ක දේ හිටපු අගමැතිවරයා ඉවත් කිරීමත් නව අගමැතිවරයෙක් පත් කිරීමත්. ඒක තමයි රටත් ලෝකයත් දැක්ක දේ. 2015 දී පොදු අපේක්ෂකයා බලයට පත් කරන්න දායක වූ අපි තේරුම් ගෙන හිටියා ඔහු අපි අපේක්ෂා කළ දේවල් ඉටු කරන්නට සැදී පැහැදුණු නායකයෙකු නොවන බව ඒක තේරුම් ගන්න පුළුවන් වුණේ ඔහුම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත්‍රීවරයෙක් පොතක් ලිව්වා ‘මා දුටු ජනවාරි අට’ කියලා.
පසුගිය 26 වනදා වෙච්ච කුමන්ත්රණයේ මුල් නිමිත්ත ඒ පොතේ ඉතා හොඳින් අනාවරණය කරනවා. ජනාධිපතිධූරයේ දිවුරුම් දීමෙන් පසුව මුලින්ම කරල තියෙන්නේ මහින්ද අමරවීර කියන මහජන නියෝජිතයාව මුණගැහිල තියෙනවා.
ඔහු ජනාධිපති පදවියට පත් කරන්න මූලික වුණ සෝභිත හාමුදුරුවන්ට දැනුම් දෙන්නේ නැතිව, චන්ද්‍රිකා මැතිණියට දැනුම් දෙන්නේනැතිව රනිල් වික්‍රමසිංහට දැනුම් දෙන්නේ නැතිව.එහිදී මහින්ද අමරවීර ඉල්ලා තිබෙනවා රාජපක්ෂ පවුල ආරක්ෂා කරල දෙන්න කියලා ඉල්ලා සිටිනවා කියන එක.ඒ පොතේ මේ ගැන ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කියනවා. අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ කතානායකට විරුද්ධවයි කියලා. පාර්ලිමේන්තුවට කතානායකවරයා ගෙනාවේ පාර්ලිමේන්තුවේ පොලිසිය නෙවෙයි. ඒ නිසා අපි ඒකට විරුද්ධයි කියලා. නමුත් ඔහු කියන්නේ නෑ. කතානායකවරයා පාර්ලමේන්තුවට ආවේ පොලිස් ආරක්ෂාව මැදයි කියලා. ඔහු කියන්නේ නෑ පාර්ලිමේන්තුවට ගෙනාවේ මැරයෝ කියලා. ගෙනාවේ පොලිස් නිලධාරින්.
වෛද්‍ය සංගමයේ සභාපතිවරයා එක්තරා අවස්ථාවක කියනවා ගිලන් රථ සේවාවකින් රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර කරනවද නැද්ද කියලා හිතල බලන්න ඕන කියලා වෛද්‍යවරු කියන්නේ බර කරත්තයකින් රෝගීන් රැගෙ ආවත් ප්‍රතිකාර කරන්න ඕන.ඒ ගොල්ල හැම දෙයක් ගැනම අර්ථ දක්වන්නේ එහෙමයි.
අපට තියෙන්නේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් අරගෙන දෙන වගකීම නෙවෙයි .අපට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපට අවශ්‍යයයි ඔක්තෝබර් 26 වනදා මේ රටේ ව්‍යවස්ථාවට සිද්ධ වූ උල්ලංඝණය නිවැරදි කරලා නැවත එක බලාත්මක කරන්න.
ඔහු ව්‍යවස්ථාව උල්ලංඝණය කළා. සදාචාරයට පටහැනි ක්‍රියාවක් කළා. ඒ නිසා පසුගිය ඔක්තෝබර් 26 වනදාට කලින් තිබුණ තත්වය නැවත ස්ථාපිත කරනන් ඕන.ඒක ස්ථාපිත කරන්න සූදානම් නැත්නම් මේ පවතින ක්‍රියාවලිය තව දුරටත් ඇදි ඇදී යයි .ඒකෙදි ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි .
රජයේ සේවකයින්ට වැටුප් නැති වෙයි. විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප නැති වෙයි. සියලු දේවල් බරපතල ලෙස කඩා වැටෙයි. මම එහෙම වෙනවට කැමැතියි. මේ විදියහට සදාචාර විරෝධි වැඩ වෙන කොට පුරවැසියන්ට දැනෙන්නේ නැත්නම් පුරවැසියන්ට දැනෙන්න මොකක් හරිවෙන්න ඕන. මිනිස්සුන්ට මේකේ තියෙන භයානක කම තේරෙන්න ඕන .ඔක්තෝබර 26 වනදා සිදු වූ මේ ක්‍රියාවට විරුද්ධව කවුද පාරට බැහැල ඉන්නේ.ඇයි එහෙම බහින්නේ නැත්තේ. ඒක තමාගේ ඇඟට දැනේනේ නෑ.
ඇඟට දැනෙන්නේ ක්රිියාවලියක් දක්වා මේක දික් ගැහෙන එක හොඳයි. මේකට වෙන කෙටි විසඳුම් අවශ්‍ය නැහැ. හොර පාරවල්වලින් මේක විසඳා ගන්නට උත්සාහ කළොත් මේක නීතියක් නැති රටක්. නායකයින් ව්‍යවස්ථාවට ගරු නොකරන රටක්. මේක අපි තේරුම් ගන්න ඕන‘‘ යැයිද මහාචාර්යවරයා මෙහිදී කීය.

