අපුර ඝාතනයේ 37 ක් ඇතුළේ


රාත‍්‍රි සමාජශාලා තුළදී කපා කොටා ඝාතනය කර සමාජ ශාලාවේ දේපල වලට අනර්ථය සිදු කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර වූ තවත් සැකකරුවන් දෙදෙනෙක් ලබන මස 9 වැනිදා දක්වා අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය  විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.

අනුරාධපුර, විජේපුර, ගුණානන්ද මාවතගේ,පී.ඩී.ගයාන් පුෂ්ප කුමාර සහ අනුරාධපුර තුන්වැනි  වන පියවර  අංක 3214, එස්.එච්.සාගර ඔවුහුය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මුලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එචි.එම්.යසරත්න මහතා පැවසුවේ සියලූ සැකකරුන් මේ වන විට අත් අඩංගුවට ගෙන අවසන් බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 24 වැනි දා සිට පොලිසිය සිදු කළ විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින බව කීවේය.

ප‍්‍රධාන සැකකරු වන හිටපු විශේෂ බලකා සෙබල ඉරෝන් රණසිංහ  ද සමඟ මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන්ගේ මුළු සංඛ්‍යාව 37 කි.ඉන් දෙදෙනෙක් හිටපු නාවික හමුදා සෙබළුන්ය. තවත්  එක් අයෙක්  නාවික හමුදා  කිමිදුමිකරුවෙකි.

තවත් එක් සැකකරුවෙකු මෙහි ප‍්‍රධාන සැකකාර ඉරෝන් රණසිංහගේ සහෝදරයෙක්ය.  රිමාන්ඩ් කර සිටින අය අතර කාන්තාවක්ද සිටින්නීය.

අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පැනොරාමා රාත‍්‍රි සමාජ ශාලාවේදී අයිතිකරු වසන්ත සොයිසා ඝාතනය කෙරුණේ පසුගිය  මස 24 වැනි දා රාත‍්‍රියේයි.

අපරාධයට සම්බන්ධ භාණ්ඩ  61 ක් නඩු භාණ්ඩ ලෙස නම් කිරිමට පොලිසිය අපේක්ෂා කරයි.