අපිරිසිදුයි කියා මඩුවක දැමූ දැරිය මියයයි


නේපාලයේ 15 හැවිරිදි දැරියක හින්දු ආගමට අනුව අපිරිසිදු යැයි සලකා මඩුවක දමා සිටියදී මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඇය මාස් ශුද්ධිය හේතුවෙන් අපිරිසිදු වූ තැනැත්තියක ලෙස සලකා එසේ මඩුවක දමා සිට ඇති අතර ඇය අධික සීතල හේතුවෙන් ගිනි මැලයක් දල්වා ඇති අතර එහි වායුව ආඝ්‍රාණය වී හුස්ම හිරවී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

‘අපි ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලා සිටිනවා ඇගේ මරණයට හේතුව දැන ගැනීමට. අපි විශ්වාස කරනවා ඇගේ හුස්ම හිරවී මරණයට සිදුවී ඇති බව.‘ යැයි බටහිර නේපාලයේ සැන්ෆෙබාගර් පොලිස් පරීක්ෂකවරයකු කියා ඇත.

අචාම් දිස්ත්‍රික්කයේ ගජ්රා ගම්මානයේ මඩ හා ගල් සහිත මඩුවක තිබී රෝෂණී තිරුවා නමැති දැරිය ගේ සිරුර ඇගේ පියා විසින් සොයාගෙන ඇති අතර එම ප්‍රදේශය නේපාල අගනුවර වන කත්මන්ඩු නුවරට කිලෝ මිටර් 440ක් පමණ දුරින් පිහිටා ඇත.