බහුභූතයෝ ඔහුගේය. ගින්දරි ඔහුගේය. හිරි පොද වැස්සෙන් රිදි තිරය තෙතබරිත කළ ඔහු දිය යටින් ගින්දර ගෙනයන්නටද දක්‍ෂයෙකු විය. මේ දිනවල සිංහල සිනමාව බන්ධනය කරන්නට කැසකවන උදයකාන්ත වර්ණසූරිය ඔහුය.
1997 දී මහමෙර උසට අධ්‍යක්‍ෂණය කරමින් සිංහල සිනමා ලෝකයට පිවිසි ඔහු එදා මෙදා තුර නිර්මාණය කළ චිත‍්‍රපට ගණන විස්සකි.
ගිනි අවි සහ ගිනි කෙළි, බහු භාර්යා, රාජ්‍ය සේවය පිණිසයි, රෝස වසන්තේ, ලේ කිරි කඳුළු, යකඩ පිහාටු, රන්දිය දහර, ආසයි මං පියාඹන්න, රන් කෙවිට, පායා එන්න හිරු සේ, වැලෙන්ජර්ස්, සෙනසුරු මාරුව වැනි චිත‍්‍රපටද ඒ අතර විය.
මේ නිසාම උදයකාන්ත වර්ණසූරිය ඔබත් මාත් දන්නේ නිර්මාණශීලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙසිනි. කොටින්ම කිවහොත් අන්තර් ජාලයේ විකි පීඩියා විශ්වකෝෂයට අනුවද ඔහු අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදකවරයෙකි.
එනිසාම ඔහු ‘අපි නොදන්න’ විශේෂංගයට එක් කරගත්තෙමු. අපි නොදන්න උදයකාන්ත වූ කලී චිත‍්‍රශිල්පියෙකි. මේ උදයකාන්ත වර්ණසූරිය නම් වූ චිත‍්‍රශිල්පියා ගැන කතාවයි.
පොඩි කාලේ ඉඳලම චිත‍්‍ර අදින්න කුසලතාවයක් මට තිබ්බා. අම්මා තාත්තා වගේම ඉස්කෝලෙ ගුරුවරුත් මගෙ ඒ හැකියාව දැක්කෙ සහජ කුසලතාවයක් විදිහට.
මම මුලින්ම ගිය කොළඹ ඉසිපතන විද්‍යාලෙදි වගේම ඊළඟට ගිය ගාල්ල රිච්මන්ඞ් විදුහලේදීත් ගුරුවරු මගේ චිත‍්‍ර මහ ඉහලින් අගය කළා.
ඔය කාලේ බස්වල ටිකට් දුන්නේ කඩදාසි රෝල්වල. මම දන්න හඳුනන කොන්දොස්තරලගෙන් ඉවරවීගෙන යන බස්ටිකට් රෝල් ඉල්ල ගන්නවා. ඕක ගෙදරට ගෙනන්ලා පුංචි පුංචි කොටු ගහල මම චිත‍්‍ර කතා අඳිනවා.
ඔන්න ඔය කාලෙදි තමයි ලන්දේසි හටන, බිලිපුජා වගේ චිත‍්‍රකතා පොත් විදිහට ආවෙ. මේ චිත‍්‍රකතා පොත් ඒ කාලේ හරිම ජනපි‍්‍රයයි. මම චිත‍්‍රකතා පොතක් නිකුත් වුණ හැටියෙම ගිහිල්ලා ඒකක් අරගන්නවා. අරගෙන කට පාඩම් වෙනතුරු කියවලා චිත‍්‍ර ඇඳලා තියෙන හැටිත් බලාගන්නවා. එක චිත‍්‍රයකට තියෙන ඉරි ගණන පවා මට මතකයි. හැම චිත‍්‍රයක්ම වෙන වෙනම බලාගන්නවා. ඊට පස්සෙ අර කිව්ව විදිහට ටිකට් රෝල්වල මම චිත‍්‍රකතා අඳිනවා.
ටාසන් කතාව ආවට පස්සෙ ඒ ටාසන් දිහා බලාගෙන මම ඒ චිත‍්‍රකතාව සම්පුර්ණයෙන්ම ඇන්දා. ඔය විදිහට තමයි මම චිත‍්‍ර අඳින්න පුරුදු වුණේ.
ඊට පස්සේ කාලෙක සතුට කියලා චිත‍්‍ර කතා පත්තරයක් ආවා. ඊට පස්සෙ මධුර, සිත්තර, වගේ එක එක නම්වලින් චිත‍්‍ර කතා පත්තර එන්න පටන්ගත්තා. ඔය පත්තරවල පාඨකයන්ටත් පිටුවක් වෙන්කරල තිබ්බා. එක දවසෙන් ඉවරවෙන චිත‍්‍රකතාවකට. ඔන්න ඉතිං මමත් ඔය පත්තරවලට දවසේ චිත‍්‍රකතා ඇඳලා අරිනවා.
ඔය අතරෙ ලේක්හවුස් එකෙන් ජනතා කියලා පත්තරයක් පළවෙනවා. මේක හවස පත්තරයක්. මම ජනතාවට චිත‍්‍ර කතා ඇඳල යවන්න පුරුදු වුණා. එක දවසක් මම ලේක්හවුස් එකට ගිහින් ජනතා පත්තරේ කර්තෘ මහත්තයා මුණ ගැහුණා. එයා තමයි ඞී.එෆ්. කාරියකරවන කියන්නෙ. එයා මගේ චිත‍්‍ර ගැන පැහැදුණා. පස්සේ මටත් ජනතාවට නිතරම චිත‍්‍ර අඳින්න අවස්ථාවක් ලබා දුන්නා. ඔය වෙද්දී ජනතාවේ හිටපු ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා තමයි ජනක රත්නායක කියන්නෙ. ජනක මට චිත‍්‍ර අඳින හැටි චිත‍්‍ර කතා අඳින හැටි හැමදේම කියලා දුන්නා.
ඔය අතරෙ මගේ පළමුවැනි චිත‍්‍රකතාව පත්තරේක පළවුණා. ඒ බුදු සරණ පත්තරේ. ඒක දවසෙන් ඉවර වෙන ජාතක කතාවක්.
නමුත් උදයකාන්ත වර්ණසූරිය කොටස් වශයෙන් පලවූ ජනප‍්‍රිය චිත‍්‍රකතා ගණනාවකද නිර්මාණ ශිල්පියාය.
ඊට පස්සෙ ජනතාවට නල දමයන්ති, තරුණි පත්තරේට එක මලක පෙති කියන චිත‍්‍රකතා මම ඇන්ඳා. ඔය වෙද්දී තරුණි පත්තරේ කර්තෘ වෙලා හිටියෙ අනුල ද සිල්වා... එයා තමයි මට එක මලක පෙති අඳින්න උදව් කළේ. මමවත් නොහිතුව විදිහට එක මලක පෙති චිත‍්‍රකතාව ජනපි‍්‍රය වුණා.
උදයකාන්ත වර්ණසූරිය චිත‍්‍රකතාකාරයෙක් විදිහට රට හඳුනන්නෙ,් ජනපි‍්‍රය වෙන්නෙ එක මලක පෙති හරහා.
ඒ ජනපි‍්‍රයත්වය හරහා මට තව තව පත්තරවලට ජනපි‍්‍රය චිත‍්‍රකතා නිර්මාණය කරන්න අවස්ථා උදාවුණා. සතුට පත්තරේට කරදිය වළල්ල, සරසවිය පත්තරේට මා නිසා ඔබ, ඇන්ඳා. මේවත් පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්තා. ඊට පස්සෙ සිනෙත‍්‍ර ප‍්‍රාර්ථනා වගේ විවිධ පත්තරවලට චිත‍්‍රකතා ඇන්ඳා. උදයකාන්ත වර්ණසූරිය ඔහුගේ චිත‍්‍රකතා ජීවිතය පිළිබඳව බොහෝ දේ කතා කරයි. නමුත් චිත‍්‍ර ශිල්පියකු වූ පමණින් යමෙකුට චිත‍්‍රකතා ශිල්පියකු වීමට නොහැක. හේතුව චිත‍්‍රය සමඟ පාඨක සිත් ඇඳ බැඳ ගන්න කතාවන්ද චිත‍්‍රකතා ශිල්පියකුට අවශ්‍ය වන නිසාය. ඉතිං ඔබේ චිත‍්‍ර කතාවලට අවශ්‍ය කතා කොහෙන්දැයි මම උදයකාන්තගෙන් විමසමි.
කතාත් මගේ. මේ වෙනකොට මට චිත‍්‍ර අඳින්න වගේම කතා ගොතන්නත් හැකියාව තිබුණා. ඔය එක මලක පෙති එහෙමත් මගේ කතාවක්. ඇත්තම කියනව නම් චිත‍්‍ර කතාවක් පාඨකයන් වැළඳ ගන්නෙ කතාවෙ ප‍්‍රබලත්වය නිසා. නැගලා යන කතාවක් ඕනෙමයි... මට කතා ගොතන්නත් හොඳ හැකියාවක් තිබුණා.
මේ චිත‍්‍රකතා ගෙතීමේ හැකියාව තම සිනමා අධ්‍යක්‍ෂණයට පිටුවහලක් කරගන්නට උදයකාන්තට හැකිවූවා විය යුතුය. අපි දන්න උදයගෙන් අපි නොදන්න උදය ගැන මම එසේද විමසමි.
ඇත්තටම මම චිත‍්‍රකතාවේ රාමු නිර්මාණය කළ විදිහටම චිත‍්‍රපටයෙ ජවනිකා දිහාත් බලන්න පුරුදු වුණා. මගේ පළවෙනි චිත‍්‍රපටය මහමෙර උසට හැදුවේ මම ලියපු ඇඳපු එක මලක පෙති චිත‍්‍රකතාවෙන්. ඒකෙන්ම තේරෙනවනෙ. චිත‍්‍රකතා දිහා බලපු ඇසින්ම චිත‍්‍රපටියක් දිහාත් බලන්න පුළුවන් කියන එක. මහමෙර උසට අතිශයින්ම ජනපි‍්‍රය වුණ චිත‍්‍රපටයක්.
උදයකාන්ත නම් චිත‍්‍රශිල්පියා සහ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා අවසානයේදී එක් පුද්ගලයකු බවට පත්විය. එබැවින් තවදුරටත් අපි නොදන්න උදයකාන්ත ගැන අපට දැනගන්නට දෙයක් ඉතිරි වී නැත. ඉතින් අපි සමුගනිමු.
ශාන්ත කුමාර විතාන



