අපි තවම සම්පූර්ණයෙන් පිරිහී නැහැ - රතන හිමි


 

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මීරිගම ගනේගොඩදී අද 7 සවස පැවසූයේ දියුණු සංස්කෘතියක් අපිට තිබුණු නිසාම අපි තවම සම්පූර්ණයෙන් පිරිහී නැහැ. අපේ රටේ තියෙන දුප්පත් කමේ හැටියට සොරකම් මිනිමැරුම් වෙනවා අඩුයි.  ඒ වගේම රට තවම නරකම පාතාලයට වැටී නැති නිසා  රට ගොඩ නගන්න පුළුවන් වුවත්  රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතැයි යනුවෙනි.

රතන හිමියෝ මේ බව ප්‍රකාශ කළේ සෙත් ජය ජය පදනම සංවිධාන කළ ගනේගොඩ සිරිමල්වතු විහාරයේ පැවති ජනහමුවේදී ගම ගොඩ නගන වැඩ පිළිවෙළ හඳුන්වා දීමේ අවස්ථාවේදීය.

රතන හිමියෝ මෙසේද පැවසූහ.

“ පාලකයෝ මොනදේ කළත් අපිට කමක් නැහැ. අපි එකතු වෙලා අපේ ගම ගොඩ නගනවා කියන විශ්වාසය ඇති කරන්න අදහස් පළ කරන්න මම පැමිණියා. අපේ රට හරිම ලස්සන රටක්. කැනඩාව හොඳයි එංගලන්තෙ හොඳයි කිව්වාට ලංකාව හොඳයි. කොච්චර නියං තිබුණත් සදාහරිත කොළ පාට තියෙනවා.

අපේ රටේ තියෙන දුප්පත්කමේ හැටියට සොරකම් මිනිමැරුම් වෙනවා අඩුයි. ඊට හේතුවී තියෙන්නේ දියුණු සංස්කෘතියක් අපිට තිබීමයි. ඒ නිසාම අපි තවම සම්පූර්ණයෙන් පිරිහිලා නැහැ. ආර්ථිකය හොඳට තියෙන රටවල මීට වඩා හොරකම් මිනිමැරුම් සිද්ධ වෙනවා.  රට තවම නරකම පාතාලයට වැටී නැහැ. මේ රට ගොඩ නගන්න පුළුවන්. එය කරන්න බැරි එකම හේතුව රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතිකමයි. පාසලට හොඳ විදහල්පතිවරයකු, පන්සලට නායකත්වයක්, තියෙන නිසා දියුණු වෙනවා. ගමට නායකයෙක් ඕන කරනවා.
නමුත් මුළු රටට හොඳ නායකයෙක් හොයා ගන්න බැරි වෙලා නිසා රටක් විදියට අපි අනාථයි. මේ රට ගොඩ නගන්න යෝධ නායකයෙක් තවම හොයා ගන්න බැරි වෙලා. මේ රට ගොඩ නගන්න අපේ තියෙන සම්පත් පාච්ච්චි කරලා රට දියුණු කරන්න පුලුවන්. රටට ලැබෙන ඉර එළිය පවා සම්පතක්.

කොන්ක්‍රීට්  නගර හැදුවොත් හිමාලය සිසාරා එන මහා සුළං පහර අපිට කවදාවත් වැස්ස ලැබෙන්නේ නැහැ. කාන්තාරයක් බවට අපේ රට පත් වෙනවා. අපේ පාලකයෝ හදන්නේ අන්න ඒ වගේ අපේ රට අනාගතයේ කාන්තාර රටක් කරන්න තමයි මෙගා සිටි මෙගා නාඩගම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා හදන්නේ. ඇත්ත වශයෙන්ම එය කාලකන්නි කමක්. මේ මෙගා සිටි මෙගා නාඩගම වෙනුවට ස්වභාව ධර්මයත් එක්ක යන අතීතයක් අපිට තිබුණා.  

ආදායමක් නැතැයි කියන තේ අක්කර ලක්ෂයකින් පාඩුයි කියා හෝටල් හදන්න දෙන්න හදනවා. මෙම වතු ආර්ථික වටිනාකමක් ඇති කැළයක් බවට පත්කිරීම ඊට වඩා වැදගත්.   ඇමරිකාව පරමාදර්ශයට ගන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කියනවා ට්‍රම්ප්ගෙන් ඉගෙන ගන්න කියලා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දැක්වූහ.

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ළඟදීම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද රතන හිමියෝ පැවසූහ.