ජනතා විමුක්ති පෙරමුණේ 44 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) තංගල්ල නගර සභාවේ පැවත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මිය ගිය විරුවන්ට ඉටි පහන් දල්වා උපහාර දැක්වීමෙන් පසු එහි ලේකම් ටිල්වින් සිල්වා, නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස උත්සව සභාව ඇමතූහ.
හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාද එයට එක්වී සිටි අතර මුළු ශාලාවම රක්ත වර්ණ ගැන්වී තිබූ අතර ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනවාරි 8 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බවත් ලක්ෂ 62 ක් එයට දායක වූ බවත් කීවේය.
‘මහින්ද රාජපක්ෂගේ පවුල් පාලනය එදා අපි අවසන් කළා. එහෙම කළේ ඔහු සමග ඇති තරහකට නොවේ. අලුතින් ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඇති මිත්‍රකමකටද නොවෙයි. අපට ඕනෑ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමයි. එසේ කිරීමට එදා ඉදිරිපත්වූ ඇතැමුන් අද විධායක ජනාධිපති ක්‍රමය රකින්න යනවා. නමුත් ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව වුයේ එය නැති කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ යැයි ඊට විරුද්ධවූ ඇතැමුන් දැන් කෑ මොර ගහනවා. ඇමැතිකමුත් කරනවා.‘







