අපරාජිත සිංහයෝ ඉදිරියටම යති


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (9) සමත් විය. හරාරේහිදී අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 128 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග අටම ජය ලබමින් අපරාජිතව ශූරතාව දිනාගැනීම කැපී පෙනේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 23.3 කදී ලකුණු 105 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ඉදිරි පෙළ කඩුලු 3 ක් දවාගනිමින් නෙදර්ලන්ත බලාපොරොත්තු බිඳ දැමීය.

සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වූ සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 71 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 233 (පැතුම් නිස්සංක 23, සදීර සමරවික්‍රම 19, කුසල් මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 57, චරිත් අසලංක 36, වනිඳු හසරංග 29, ලොගන් වෑන් බී්‍රක් 40/2, වික්‍රම්ජිත් සිං 12/2, රයන් ක්ලීලින් 42/2, සකීබ් ෂුල්ෆිකාර් 59/2) නෙදර්ලන්ත පිල ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 105 (මැක්ස් ඕඩොවුඩ් 33, ඩිල්ෂාන් මධුසංඛ 18/3, වනිඳු හසරංග 35/2, මහීෂ් තීක්‍ෂණ 31/4)