අනුෂ්කා ඒකනායකගේ 'දස්කොන් ප්‍රමිලා' නෘත්‍ය නාට්‍ය අද


20170224Anushka-1‘සදාතනික ස්නේහයේ දෝංකාරය 'දස්කොන් ප්‍රමිලා' සමග අද ප.ව 6.30ට බිෂොප් රංග ශාලාවේදී අනුෂ්කා ගෙන එන්නේ කතක් නෘත්‍ය නාට්‍ය නම් නවමු සංකල්පයකි. මේ පිළිබඳව එහි නිර්මාණ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කතක් නර්තන නිපුන් අනුෂ්කා නිලාංජනී ඒකනායක පවසන්නේ මෙවැනි අදහසකි.

 

මොකක්ද මේ අලුත් උත්සාහය?

මේක දස්කොන් ප්‍රමිලා කතාව ඇතුළත් කතක් නෘත්‍ය නාට්‍යයක්. ප්‍රථම වතාවටයි මෙවැනි නෘත්‍ය නාට්‍යයක් ශ්‍රී ලාංකීය වේදිකාවට පැමිණෙන්නේ. ඉන්දියාව වැනි රටවල මෙය ඉතාම ජනප්‍රිය කලාවක්. නමුත් නෘත්‍ය නාට්‍ය නැතිනම් ඩාන්ස් ඩ්‍රාමා කියන මේ සංකල්පයෙන් ඉන්දියාවේදී වැඩිදුරටත් කතා කළේ මහාභාරතය, රාමායනය සහ දේව කතා. මෙය ලංකාවට හඳුන්වා දීමේදී එම කතා පුවත්ම වේදිකාගත කළයුතුයි කියලා මම හිතන්නේ නෑ. එතැනදී තමයි මට දස්කොන් ප්‍රමිලා කතාව ගැන දැනගන්න ලැබෙන්නේ. 'දස්කොන් සකිසඳ' ගීතය තමයි මේ කතාව ගැන මගේ උනන්දුව සහ කුතුහලය වැඩි කළේ. සරසවි, සදීපා, වනපෙත පොත්හල්, යමහා මියුසික් සෙන්ටර් හා අබාන්ස් ප්‍රධාන ශාඛාවෙන් ප්‍රවේශපත් ලබාගන්න පුළුවන්. කලාවට හිතැති ප්‍රේක්ෂක හැමෝටම ආරාධනා කරනවා එදිනට අපත් සමග අත්වැල් බැඳගන්න කියලා

 

නෘත්‍ය නාට්‍ය සංකල්පය විශේෂ කරන ඒ වෙනස කුමක්ද?

මෙහි විශේෂත්වය වන්නේ පළමු වතාවට ඉන්දියානු ආභාසයෙන් දිගහැරෙන නෘත්‍ය නාට්‍යයකට සිංහල ඉතිහාස කතාවක් ඇතුළත් කරගැනීමයි. ඒ වගේම ජනප්‍රවාදවල සඳහන් දස්කොන් ප්‍රමිලා කවි ගායනා ඒ ආකාරයෙන්ම ඇතුළත් කරගෙන සංගීතයෙන්, ඇඳුම්වලින් ඉන්දියානු ආභාසයට මෙය යා කිරීමයි මෙහිදී සිදුවෙන්නේ. ‘දස්කොන් ප්‍රමිලා නිර්මාණ අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය හා නව සංගීත සැකසුම සිදුකරන්නේ මම විසින්මයි. 

මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමේ විශේෂ අරමුණක් තියෙනවද?

ඇත්තටම විශේෂ අරමුණක් තියෙනවා. ප්‍රසංගයෙන් ලැබෙන මුදල්වලින් විශේෂ කාර්යයන් දෙකක් සිදුකිරීමට නියමිතයි. එයින් කලාකරුවෙකුට මුදල් පරිත්‍යාගයක් සිදුකරනවා. අනෙක මම දැනට සේවය කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකන් කෙයාර්ස් කියන ප්‍රජා සත්කාරක අංශයට පරිත්‍යාග කරනවා. මෙමගින් අපේ රටේ ළමා හා තරුණ සංවර්ධනය වෙනුවෙන් විශාල ව්‍යාපෘති දියත් වෙන නිසා ඒ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ක්ෂේත්‍ර නගාසිටුවන්න මගේ දායකත්වයත් ලබාදෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතුවා

 

ඔබ නර්තනය හදාරන්න යොමු වන්නේ කොහොමද?

නර්තනය හදාරන්න මම යොමු වන්නේ සහජ දක්ෂතාවයකින් කියලයි මට හිතෙන්නේ. කතක් කියන්නේ උතුරු ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන කලාවක් නිසා මේ නර්තන කලාව ඉගෙන ගන්න මුල් අත්පොත් තියනකොට මට වයස අවුරුදු හතරයි. එහිදී මගේ මුල් ගුරුතුමිය වුණේ කතක් නර්තනය මුලින්ම කලාවක් ලෙස ලංකාවට හඳුන්වා දෙන්න පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ශ්‍රීමතී රසාදරී මහත්මිය. අද මම ඉන්න තැන ඉඳලා නර්තන දිවිය ගැන ආපසු හැරිලා බලනකොට එතරම් කුඩා වයසක සිටත් ඇයගෙන් නර්තන අත්පොත් තබන්නට හැකි වීම ගැන බෙහෙවින් සතුටට පත්වෙනවා.

20170224Anushka-2

නර්තනය සම්බන්ධ ශාස්ත්‍රීය හා වෘත්තීමය වටිනාකම් ඔබ තුළ ගොඩනැගෙන්නේ කොහොමද?

මුල් ගුරුතුමිය ශ්‍රීමතී රසාදරී මහත්මියගෙන් පසුව මනෝරි උදයරත්න ගුරුතුමිය යටතේ තවදුරටත් නර්තනය හදාරමින් කතත් නර්තන අංශයෙන්ම විශාරද විභාගයට පෙනී සිටියා. එය සාර්ථකව අවසන් කරනවත් එක්කම මට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයකින් ඉන්දියාවට ගිහින් වැඩිදුරටත් කතක් නර්තනය හා සංගීතය හදාරන්න අවස්ථාව ලැබුණා. කතක් නර්තනයේ නිජ භූමියේදීම මට ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි පළමු පෙළ සාමාර්ථ සහිතව සමත් වෙලා නර්තන නිපුන් සහ සංගීත විශාරද අංශවලින් තිබෙන සියලුම විභාගත් සාර්ථකව නිම කිරීමේ වාසනාව ලැබීම ගැන ඉතාම සතුටට පත්වෙනවා. ඉන්දියාවේදී මම ලබාගත්ත ඒ දැනුම 'අනුෂ්කා කතක් ඩාන්ස් ඇකඩමි' නමින් ඇකඩමියක් ආරම්භ කරලා තවත් බොහෝ දරුවන් පිරිසක් සමග බෙදාහදා ගන්නවා. ඒ වගේම මගේ ගුරුවරුන් මාව නර්තන අංශයෙන් ඉහළම තලයකට ගෙන ආවා වගේ, මමත් මගේ ඇකඩමියෙන් දරුවන්ට ඉන්දියානු විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව උදාකර දීලා ඔවුන්ව මේ අංශයෙන් හැකි උපරිමයෙන්, දැනුමෙන් හා ප්‍රායෝගික පුහුණුවෙන් පෝෂණය කරනවා. මේ සියල්ලට අමතරව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙනුත් කටයුතු කළා.

20170224Anushka-3ඔබ වෘත්තීය නර්තනවේදිනියක්, නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක්. අනෙක් අංශවලින් ඉදිරියේදී දකින්න ලැබේවිද?

මම දැනටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. සිනමා අධ්‍යක්ෂක අමරනාත් ජයතිලක මගේ ලොකු තාත්තා. ඔහුගේ 'යුවතිපති' සහ 'භීෂණයේ අතුරු කතාවක්' සිනමාපටවලටත්, ගාමිණී රත්නසිරි අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යවලටත් රංගනයෙන් දායක වුණා. ඉදිරියේදිත් හොඳ නිර්මාණවලට රංගන දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ගයත්‍රි විජේසේකර