(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)
මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් සුළු ප්‍රමාණයක්වත් වී නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන දිස්ත්‍රික්කවන අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල යන ප්‍රදේශවලත් වී අලෙවි මණ්ඩලයට නොලැබුණු බව එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පවසයි.
රජයේ සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශයෙන් ගොවීන්ට ගෙවීම මෙයට හේතුව බව ද ඔහු කීය.
මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට පෙර සිටම වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය මුදල් වෙන් කරගෙන ගබඩා පහසුකම් සූදානම් කරගෙන ගොවීන්ගේ වී රජයේ සහතික මිල යටතේ මිලදී ගැනීමට කටයුතු යොදා තිබූ බව සභාපතිවරයා කීවේය. රජයේ ඒ වැඩපිළිවෙළ නිසා පෞද්ගලික අංශයට ගොවියාගේ වී මිලට ඉහළ මිලක් ගෙවා මිලදී ගැනීමට සිදු වූ බවත් මේ නිසා වෙනත් කන්නවලදී මෙන් මෙවර ගොවීන්ට වී අස්වනු අලෙවි කර ගැනීමේ ගැටලුවලට මුහුණ පෑමට සිදු නොවූ බව ද ඔහු කීය.
පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට මෙවර යල කන්නයේ පමණක් නොව ඊට පෙර කන්නවලදී ද වී ඇටයක්වත් නොලැබුණු බවත් ඒ ගබඩා බාරකරුවෝ කීහ.
මෙවර යල කන්නයේ වී වගාව කෘමි හානිවලට ගොදුරු වීම නිසා අස්වැන්න විශාල වශයෙන් අඩු වූ බව ගොවි ජනතාව කියති.
එසේ වී නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞද්ගලික වෙළෙඳුන්ට ගොවීන්ගේ වී අස්වනු කුණු කොල්ලයට මිලදී ගැනීමට නොහැකි වූ බව ද ඒ ගොවි ජනතාව පෙන්වා දුන්හ.

