අනුන්ගේ බෑග් ගෙනවිත් දඩ කයි


 රුපියල් දස ලක්ෂ හැටදහසක් වටිනා  ජංගම දුරකතන හත්සිය අසූ පහක් සහ අයි ටැබ් ඇන්ඩ්‍රොයිඞ් සන්නිවේදන උපකරණ තිස්හතරක්  නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් හතලිස් පන්දහසක  දඩයක් නියම කළ රේගුව එම උපකරණ  තොගය රාජසන්තක කළේය.

සැකකරු   දෙමටගොඩ  ප‍්‍රදේශයේ පදිංචි  තිස් නව හැවිරිදි  ජංගම දුරකතන උපාංග ව්‍යාපාරිකයෙක් බවත්  ඔහු  වෙනත් අයෙකුගේ  ගමන් මලු දෙකක් ගුවන්තොටුපොළෙන් පිට  කිරීමට උත්සහ කර ඇති බවට  පරික්ෂන වලදී අනාවරණය වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යන්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

මෙහු   ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 226 දරණ ගුවන්යානයෙන්  ඩුබායි සිට මෙරටට පැමිණ  රේගුවට භාන්ඩ කිසිවක් පෙන්වීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.

ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාට මේ පිලිබදව ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූ ගමන් මළු දෙකක මෙම උපකරණ තිබුන බව රේගුව කියයි.

රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී  අදාල ගමන් මළු දෙක වෙනත් අයෙකු  විසින්  ගුවන්තොටුපොළ ගමන් මලූ පතයේදී තමන්ට ලබා දුන් බවත් එය පිටතදී  යලි ලබා ගන්නා බවට  එම පුද්ගලයා පැවසූ බවත් රේගුවට පවසා ඇත.

අදාල ගමන් මලු පරික්ෂා කිරීමේදී ඒවා වෙනත් පුදගලයෙකුගේ නමින් නම් කර තිබූ බව රේගුව කියයි.  එමෙන්ම තමන්ගේ ගමන් මලු ගෙනයාමට පිටස්තර පුද්ගලයන්ට  බාර නොදෙන ලෙසත්  පිටස්තරයින්ගේ ගමන් මලු බාර ගෙන අනවශ්‍ය කරදර ඇතිකර නොගන්නා ලෙසත් රේගුව ජනතාවට දැනුම් දෙයි.

මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී ව්ජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එච්.එන් විජේතුංග, සී විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.ඒ.සී.පී ඩයස්, ඒ.එල්.එම්  ෆසීම්, කේ.ඊ.ජී සමීර, කේ.එල්.ටී කුමාර, ජේ.ජේ අබේසිරිවර්ධන, ඊ.පී නන්දසිරි යන නිලධාරීහු සිදු කළහ.