අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා  ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු  තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු  කටුනායකදී  අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ  වෙති.
 අත්අඩංගුවට ගනු ලැබූ  කරදමුංගු  තොගයේ බර කිලෝග‍්‍රෑම් 150 ක් වන අතර  එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි.
රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්ණ කිරීමේදි  තමන් මක්කම  වන්දනා මාන කිරීමට ගිය  බවත් ආපසු  එමින් සිටියදී  ජෙඩා ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු විිසින්  මෙරටට ගෙන ඒම සඳහා මෙම කරදමුංගු  තොගය ලබා දුන් බව රේගුවට පවසා ඇත.
සැකකරුවෝ සෞදි අරාබියානු ගුවන්සේවයට අයත් එස්.වී 780 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් එලියට යාමට උත්සහ ගනිද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී මයිකල්,  එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන තනුෂ්ක විජේසූරිය, එන්.ඞී සිරිසේන යන නිලධාරීහු සිදුකරති.