අනිද්දා තෙක් තද වැසි


(ඩයනා උදයංගනී)

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑමෙන් අනිද්දා (8) තෙක් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද වැසි සහ දිවයින වටා මුහුදු ප‍්‍රදේශයන්හි තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ඉදිරි දිනවල බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයන් හි ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප‍්‍රජාවට දැනුම්දීමක් කර තිබේ.

විශේෂයෙන් මඩකලපුව සිට ත‍්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ හෙට (7) දිනයේදීත්, ත‍්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ අනිද්දා (8) දිනයේදීත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් මිලිමීටර 100, 150 පමණ තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.

සෙසු ප‍්‍රදේශවලද මිලිමීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශකයා පැවසීය.