අන්තරේ සිසු මරණ ගැන උදෘත නීතිපතිට


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු 2012 වසරේ ඉඹුල්ගොඩදී මියයෑම සම්බන්ධ පරීක්ෂණවල උදෘත නීතිපතිවරයාට යැවීමට කටයුතු කරමින් සිටින බව රහස් පොලිසිය අද අධිකරණයට දැන්වීය.
 
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා හමුවේ අද නඩුව කැදැවිණි. මුලින් පරීක්ෂණ කළ පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශ පරස්පර වීම ගැන සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ප්‍රශ්න කළාය.
 
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය සියයට හයේ අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි. එම පාගමන අතරතුර අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති   ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය.
 
මෙය රිය අනතුරක් බව පොලිසිය ප්‍රකාශ කළ අතර අන්තරය කීවේ මෙය ඝාතනයක් බවයි.