අන්තර්ජාලය ඔස්සේ පුරා පැය විසි හතරක් පැවති ‘අයි ට්‍රිපල්ඊ එක්ස්ට්‍රීම් 8.0‘ නම් ජාත්‍යන්තර සුප්‍රසිද්ධ පරිගණක ප්‍රශ්න පිළිතුරු වැඩසටහනට ඉදිරිපත්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ ඉංජිනේරු අංශයෙන් ‘ඌප්ස්‘ ශිෂ්‍ය කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බව මහාචාර්ය රොහාන් මුණසිංහ පැවසීය. රටවල් සියයක් පමණ මේ තරඟයට ඉදිරිපත් විය.
මෙම තරඟය ඔක්තෝබර් 18 උදේ 5.30 ට ආරම්භවී 19 උදේ 5.30 දක්වා අඛණ්ඩව පැවැත්විණි.
ජයග්‍රහණය හිමිකරගත් ශිෂ්‍ය කණ්ඩායමට වරුණ ජයසිරි සහ තිළිණ අඹගහවත්ත නමැති පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහ අවසන් වසරේ ශිෂ්‍ය නිපුණ සමරසේකර ඇතුළත් විය. මෙම ශිෂ්‍ය කණ්ඩායම තරඟය අවසන්වීමට පැය දෙකකට පෙරාතුව තම පිළිතුරු ලියා අවසන් කිරීමද විශේෂත්වයකි.
මෙය ජාත්‍යන්තරව සුපතළ සුවිශේෂී මෙන්ම අග්‍රගන්‍ය තරඟයකි. එක දිගට ප්‍රශ්න විසිතුනක් මෙහිදී අන්තර්ජාලය හරහා ඉදිරිපත්වෙයි. ඒ සඳහා විසඳුම් ලහිලහියේම සැපයිය යුතුය. මෙම තරඟයට සහභාගීවුණු තණ්ඩායම් ඉදිරිපත් කර තිබුණ විසඳුම් සංඛ්‍යාව ලක්ෂ තුනකි. ඒ අතරින් හොඳම පිළිතුරු තෝරාගෙන එහි ප්‍රතිඵල දැනට දින කිහිපයකට පෙර නිකුත් කළේය.
මෙම තරඟයේ ප්‍රථම ස්ථානය අයිස්ලන්තයේ රික්ජාවික් විශ්වවිද්‍යාලයත් දෙවැනි ස්ථානය අමෙරිකාවේ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයටත් හතරවැනි සහ පස්වැනි ස්ථාන චීනයේ සන් සැට්යෙන් විශ්ව විද්‍යාලයටත් හිමිවිය.
අමෙරිකාව කේන්ද්‍රකොට ගත් අයි ට්‍රිපලි එක්ස්ට්‍රීම් නමැති ලෝකයේ පිහිටි අග්‍රගන්‍ය හා විශාලතම විද්‍යුත් හා විදුලිය ඉංජිනේරු ජාලය මඟින් මෙම තරඟය පවත්වයි.
මොරටුව විශ්වවිද්‍යාලයයේ ජයග්‍රාහී ශිෂ්‍ය කණ්ඩායමට මග පෙන්වීමත් අධීක්ෂණයත් කළේ මහාචාර්ය රොහාන් මුණසිංහ සහ ආචාර්ය රංග රොද්‍රිගු යන මහත්වරුන්ය.


