බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
රජයේ දුරකතන ආවේක්ෂණ උපකරණ භාවිත කරමින් තමන්ගේ සහ තම පවුලේ දුරකතන ඇමතුම්වලට රහසේ සවන් දී ඇති බව කියමින් (ටැප් කර) කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසක් හමුවේ පසුගියදා විශේෂ කරුණු ඉදිරිපත් කිරීමක් කරනු ලැබ තිබේ.
ඒ පී නලීන් ජයවර්ධන නමැති මෙම පුද්ගලයා වසර ගණනක් තිස්සේ තමා විසින්ම කරන ලද විමර්ශන ක්‍රියාවලියක් මත පදනම් වූ දත්ත හා තොරතුරු ඇසුරෙන් පැය දෙකකට අධික කාලයක් තිස්සේ මෙම කරුණු ඉදිරිපත් කිරීම කළ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දුරකතන ටැප් කළ බව කියන පුද්ගලයන්ගේ නාම ලේඛණයක් ද මෙම පුද්ගලයා විසින් අදාළ ඉදිරිපත් කිරීමට අන්තර්ගත කරනු ලැබ ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් සොයා බැලීමක් කරන බව එම නිලධාරියා සදහන් කළේය.
මෙම පුද්ගලයා මුලින්ම කැලණිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල විභාග නොකිරීම නිසා 2017 පෙබරවාරි මස දෙවැනි දා පොලිස් මූලස්ථානයට ද පැමිණිල්ලක් කර තිබේ. ඊට අමතරව මේ පුද්ගලයා නීතිපති දෙපාර්තමේන්තුවට හා අධිකරණ අමාත්‍යංශයට ද පැමි‚ කර ඇත. මෙය තම විශය පථයට නොවැටෙන නිසා විමර්ශන සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සෝභිත රාජකරුණා මහතා පසුගිය පෙබරවාරි පළමු වැනි දා ලිඛිතව දන්වා තිබේ.

