අනවසර ඉදිකිරීම් නවත්තන්න වෙනම නීති ගෙනෙයි


(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට එරෙහි වන නීති ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එවැනි පියවරක් නොගතහොත්  මීටත් වඩා දැඩි ව්‍යසනයකට රටට මුහුණ දීමට සිදු වනු ඇති බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත  කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කීය.

ඒ යටතේ මෙම ගැටලුව සඳහා ස්ථීර විසදුම් සෙවීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානි වූ සියලු පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා මාර්ග ඉදිරි සති දෙකක් ඇතුලත සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ඒ වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවන ලෙසත්, දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කළ නොහැකි මාර්ග පිළිබඳ තොරුතුරු සහ අවශ්‍ය ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත් කී ජනාධිපතිවරයා 2026 වසරට අදාලව එම ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කරන බව සඳහන් කළේය.