අධ්‍යාපනයට වෙන්කළ මුදල් සමහර පළාත් සභා අධ්‍යාපන ඇමතිවරුම වෙනත් විෂයන්වලට ඉල්ලුවා


ශ්‍රී ලංකාවේ පාසල් දහයකින් අටකම අඩුපාඩු තිබෙන බවත් එසේ තිබියදී  පළාත් සභාවල අධ්‍යාපනයට වෙන්කළ මුදල් වෙනත් විෂයන්වලට මාරු කරන ලෙස සමහර පළාත් සභා අධ්‍යාපන ඇමතිවරු ඉල්ලූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රටේ දරු පරපුර හා තරුණ පරපුර රටට බරක් නොව පින්වන්ත පිරිසක් බව කී ජනාධිපතිවරයා අනාගතයේදී රටේ බාර ගැනීමට ඔවුන් නවීන තාක්‍ෂණික ලෝකයට ගැළපෙන ලෙස සූදානම් කළ යුතු බව ද කීවේය.
 
අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් නිසි ලෙස භාවිතා වෙනවා ද යන්න ගැටළුවක් බවත් එහිදී ප‍්‍රමුඛතාවය දිය යුතු අංශ පිළිබඳව පාසල්වලට මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ට කියා දීමට සිදුව ඇති බවත් සිරිසේන මහතා පැවසීය.
 
ජනපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඞී.එස් සේනානායක විද්‍යාලයේ දී අද (10) පැවති එහි 50 වන සැමරුම් උළෙලට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.