අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්ය සාධක බලකායක්


(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල් වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කරගනු ලැබ ඇතැයි රජය කියයි.

 එහෙත්, මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමක්, ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වැඩි වෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවර්තනයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. 

බොහෝ රටවල් තම අධ්‍යාපන පද්ධතීන්වල විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා ධිජිටල් ප්‍රතිලාභ කාර්යක්ෂමව උපයෝගි කර ගනු ලබයි. ශ්‍රී ලංකාව ද විවිධ ඩිජිටල් අධ්‍යාපන මුල පිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතාව හේතුවෙන් අපේක්ෂිතප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී නොමැත. එබැවින්, වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපාය මාර්ගික ධිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්ය සාධක බලකායක් ස්ථාපිතකිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.