අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය


(ඩයනා උදයංගනී)

           

රටේ සියලූ ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇති අතර එය ක‍්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ශාස්ත‍්‍රීය හා නීතිමය කටයුතු කිරීම වෙනුවෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කේෂ්ත‍්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් ‘ප‍්‍රඥා සම්පන්න පුරවැසියෙක්, දැනුමෙන් පිරිපුන් සමාජයක්’ වැඩපිළිවෙළ යටතේ ගුරුවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

කැබිනට් ප‍්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.