අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුරගේ හෝ හරිනිගේ නොවේ


(අංජුල මහික වීරරත්න)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුර⁣ගේ හෝ අගමැති හරිනිගේ නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව පවසා සිටියාය. "පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්"යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.