තරිඳු ජයවර්ධන
කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මේ වන තෙක් පැමිණ නැතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
අද නොපැමිණෙන බවට ඔහු දැනුම් දීමක් කර නැතැයිද පොලිසිය පවසයි.
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එදින අලුයම ඒ මහතා විදෙස් ගත වී තිබිණි.
වරෙන්තුකරුවකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබියදී ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණය අවස්ථා කිහිපයකදී රහස් පොලිසියෙන් විමසීමක් කළේය.
අද්මිරාල් විජේගුණරත්න මහතාගේ නියෝග පිරිදි පිරිසක් තමාට තර්ජනය කළ බවට මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වන ලුතිනන් කොමදෝරු ලක්සිරි නම් නිලධාරියා ඉරිදා (25) කොටුව පොලිසියට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ වී තිබේ.

