තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට දැනුම් දීමක් නොලැබුණු බවට ඒ මහතා කර තිබෙන ප්‍රකාශය පදනම් විරහිත බව පොලිසිය කියයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තියේ 06 වැනි වගන්තිය අනුව ඔහුට දැනුම්දීමක් කළ බව පොලිසිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මොංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ අත්සනින් එම කැඳවීමේ නියෝගය විජේගුණරත්න මහතාගේ කාර්යාලයට භාර දුන් බවත්, එහි කපිතාන් සමරනායක මහතා අත්සන් කර එය බාර ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තියේ 06 අනු වගන්තිය අනුව විමර්ශනයකට අදාළව යම් කැඳවීමක් කිරීමට පොලිස් පරීක්ෂකවරයකුට හැකියාව ඇති බවත්, එලෙස පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් ඔහු කැඳවමින් වරෙන්තුවක් නිකුත් කිරීමට හැකි බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එලෙස පැහැර හැරීම වෙනම වරදක් බව ද ඔහු කියා සිටි එම උසස් පොලිස් නිලධාරියා එම වරදට වෙනම නඩු පවරූ අවස්ථා ඕනෑ තරම් තිබෙන බව ද කියා සිටියේය.
අදාළ වගන්තිය මෙසේය.
‘‘මේ පරිච්ඡේදය යටතේ විමර්ශනයක් කරන යම් පොලිස් නිලධාරියකු විසින් හෝ පරීක්ෂකවරයකු විසින් ඒ පොලිස් නිලධාරියාගේ , පොලිස් ස්ථානයේ හෝ යාබද යම් පොලිස් ස්ථානයක හෝ බලසීමාවක ඇතුළත නැතහොත් ඒ පරීක්ෂකවරයාගේ ප්‍රාදේශීය බලසීමාව ඇතුළත පදිංචිව සිටින්නාවූ ද එම කාරණය සම්බන්ධයෙන් අවස්ථාගත කරුණු දන්නා බව ලැබුණු තොරතුරු අනුව හෝ අන්‍යාකාරයකින් පෙනී යන්නා වූ ද යම් තැනැත්තකුට තමා ඉදිරියට පැමිණෙන ලෙස ලියවිල්ලකින් වූ නියමයක් මගින් නියම කරනු ලැබිය හැකි අතර එසේ නියම කරන ලද පරිදි ඒ තැනැත්තා පැමිණිය යුතුය.
පැමිණෙන ලෙස පරීක්ෂකවරයකු විසින් නියම කරනු ලැබූ විට, යම් තැනැත්තකු එසේ පැමිණීම ප්‍රතික්ෂේප කළ හොත් හෝ පැහැර හැරියහොත්, ඉහත කී නියමය මගින් නියම කරන ලද පරිදි ඒ තැනැත්තා පැමිණ සිටින බවට වගබලා ගැනීම පිණිස පරීක්ෂකවරයා විසින් තම අභිමතය පරිදි වරෙන්තුවක් නිකුත් කරනු ලැබිය හැක්කේය. ‘‘

