අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරන්නේ නැහැ


(අංජුල මහික වීරරත්න සහ නිරෝෂනී රත්නායක)

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වුහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන අතර ශ්‍රී ලංකාවෙි එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමිනි. 

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට මේ සමඟ අවස්ථාව සැලසේ.