අද තරගය පැරදුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ගෙදර


‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටය නිමාවට පත්කරමින් ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර සිවුවැනි තරගය අද (02) මෙල්බර්න්හිදී පැවැත්වේ. දිවා/රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් අද තරගයෙන් ජය ලැබිය යුතු වන අතර නැතහොත් තරග විසඳුමකින් තොරව අවසන් විය යුතුය. ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගයේදී ලැබූ දැවැන්ත පරාජය නිසා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉන්දියාව සමග 15 ක් ලෙස සම විය. ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග හතරෙන් ඉන්දියාව තරග දෙකක් ජය ලබා සිටීම නිසා අද තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ඉන්දියාව අවසන් තරගාවලියට සුදුසුකම් ලබයි. ඕස්ටේ‍්‍රලියාව මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියි.  ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් මෙම තරගයට සහභාගි නොවන අතර තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන් නායකයා ලෙස කටයුතු කරයි. තරගාවලියේ ශූරයන් තෝරා ගැනෙන තරග තුනකින් සමන්විත අවසන් වටයේ පළමු තරගය අනිද්දා (04) බි‍්‍රස්බේන්හිදී ආරම්භ වේ.