අතෙයි කරෙයි රත්තරන්, අර පැත්තෙත් රත්තරන්


රුපියල් දාහත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් බිස්කට් දෙකක් ගුද මාර්ගයේ සගවාගෙන, නිම නොකල රන් වළලූ තුනක්  සහ කර මාලයක් පැළඳ  ඉන්දියාවේ  චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය. 

සැකකාරිය වත්තල මා බෝල ප‍්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවිකි. 

මින් පෙර ශරීර අභ්‍යන්තරයේ රන් සගවාගෙන  ගොස් අසු වුයේ පිරිමින් පමණක් බවද කාන්තාවක් අසු වූ ප‍්‍රථම අවස්ථාව මෙය බවද රේගුව කියයි.

අත් අත්ඩංගුවට ගත් රන් බිස්කට් සහ ආභරණ වල බර ග‍්‍රෑම් තුන්සිය හතලිස් හයකි.

ඇය   එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි බල යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී  රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත අත්අඩංගුවට ගෙන මිගමුව රෝහලට ඇතුලත් කර ඇත.

මීගමුව රෝහලේදී මෙම රත්තරන් බිස්කට් ඉවතට ගෙන ඇති බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අදිකාරී මලිත් පෙරේරා සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, මංජුල කුමාර, ලලිත් දුෂ්‍යන්ත, සිසිර පෙරේරා, හිමාලි ලොකු බාලසුරිය යන නිලධාරීහු සිදු කරති.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.