අතිරේක දිසා විනිසුරුගෙ පුතා පැහැරගෙන මුදා හරී


කොළඹ අලුත්කඩේ අංක හතර අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සෝමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් සෙනසුරාදා (28) මොරටුව රාවතාවත්තේ දී පැහැරගෙන එදිනම සවස තුනට පමණ වාද්දූව මොල්ලිගොඩ දී අතහැර ගොස් ඇතැයි මොරටු පොලිසිය කියයි.

සෙනසුරාදා උදේ දහයට පමණ ටියුෂන් පංති යෑම සදහා සිසුවා ගාලු පාරේ රැදීසිටියදී පැහැර ගෙන ඇත.

වෑන් රථයක සිටි සිව් දෙනකු බලහත්කාරයෙන් තමා වෑන් රථයට දමාගත් බවත්, පසුව කිරිබත්ගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් හරවාගෙන ආපසු එමින් සිටියදී බස්බලපිටියේ දී සිහි නැති වූ බවත්, පසුව නැගිට බල විට එම පිරිස විසින් යම් කිසි ප්‍රදේශයක දී වෑන් රථයෙන් බසින ලෙස පැවසූ බැවින් එයින් බැස බලන විට වාද්දූව බව හදුනාගත් බවත් එම ශිෂ්‍යයාගේ ප්‍රකාශයේ සදහන්ව ඇතැයි පොලිසිය කියයි.