අතාවුද සෙනවිරත්නටත් නඩු


රුපියල් ලක්ෂ එකොළහකට ආසන්න අනර්ථයක් කළැයි කියන සිද්ධියේ සැකකරුවන් වන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් සුමනසූරිය ඇතුළු සැකකරුවන් 17 දෙනකුට එරෙහිව නීතිපති උපදෙස් මත ලබන ජූනි පස් වැනිදා චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතය.

තුල්හිරිය මහේස්ත්‍රාත් අමත්ත ලක්මාල් වික්‍රමසූරිය මහතා ඉදිරියේ අද (29) නඩුව කැඳැවිණි.

නඩුව එදිනට කල් තබමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එදින ඔවුනට චෝදනා පත්‍ර භාර දෙන බවයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතා නඩු විභාගයට පෙනී නොසිටියේය.

අසනීප බව දන්වා ඔහු වෙනුවෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර තිබිණි.

2012 ජූලි හය වැනි දින වරකපොළ භූගත ජල ව්‍යාපෘතිය ඇරැඹූ අවස්ථාවේ නීති විරෝධී ලෙස රංචු ගැසී දේපළවලට හානි කලැයි පොලීසිය ඔවුනට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සෙනවිරත්න මහතාගේ ආරක්ෂක නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂක ඇම් එච් එම් ෆවුමි සහ සැරයන් වික්‍රමරත්න මහේස්ත්‍රාත්වරයා විසින් අද (29) නිදහස් කරනු ලැබූහ.