අත්අඩංගුවට ගන්නා විස මත් එවේලේම වනසන නීති ගෙනෙයි


(අංජුල මහික වීරරත්න)

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේ දීම විනාශ කිරිම සඳහා නව නීති  ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන්නේ ය.

විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත්විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට හැකි වන පරිදි  නීති සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා පැවසුවේ ය.

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.

විෂ මත්උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අද (25) පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේ දී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවද කී ජනාධිපතිවරයා සියලු අදහස් එකතු කරගනිමින් කාටත් පිළිගත හැකි පරිදි නව වැඩපිළිවෙළක්  සකස් කළ යුතු බවද පැවසුවේ ය.

තොරතුරු සැලකිල්ලට ගනිමින් ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.