
( ටී.කේ.ජී.කපිල )
රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැහැරදැමූ ගමන් මල්ලක් තුළ තිබී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන '' මැක්ස් " (Max ) නැමති නිල සුනඛයා විසින් සොයා ගැනීමෙන් පසු එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මත්ද්‍රව්‍යය තොගය සමග වූ ගමන් මල්ල ඉකුත් 28 දින උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මෙම ගමන් මල්ලේ හිමිකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අද දින ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම ගමන් මල්ල තුළ '' කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 900 ක් ඇසුරුම් 19 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබී ඇත .
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම ගුවන් මගියා සහ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය හෙට (7) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .


