අත නාරු මේ ‘සර්පයා‘


රෝසපැහැති අලංකාර මල් පොකුරුවලින් පිරී ඇති ආදරවන්තයන්ගේ ගස හෙවත් වැලන්ටයින් ට්‍රී නැමැති මෙම ආක්‍රමණශීලි ශාකය කපා පුළුස්සා දමා ශ්‍රී ලංකාවෙන් තුරන් කළ යුතු පරිසරවේදීන් කියයි.

ආදරවන්තයන්ගේ දිනය සමරණ පෙබරවාරි මාසයේ දී මලින් බරවන නිසාම ආදරවන්තයන්ගේ ශාකය ලෙස නම් ලැබූ මෙහි මලෙහි ඇති සුන්දරත්වය හේතුවෙන් මල් වවන්නෝ ශ්‍රී ලංකාවට ගෙනවිත් බෝ කළහ. මෙරට ස්වභාවික පරිසරයට විනාශකාරී ලෙස පැතිරයන ආක්‍රමණකාරී ශාකයක් බවට නම්කොට ඇති මෙම ශාක විශේෂය දැන් මෙරට සියළුම දේශගුණික කලාපවල පැතිරෙමින් තිබේ.

පිලිපීනය නිජභූමිය කැරගත් වැලන්ටයින් ශාකය පිලිපීන ෆයර්වරක්ස්, බ්‍රෝන්ස් ලිව්ඩ් ක්ලොරොඩෙන්ඩ්‍රම්, පිලිපීන ග්ලෝරි බොවර් සහ ස්ටර්බ්ර්ච්ට් යන නම් වළින් ද හැඳින්වේ. ක්ලෙරොඩන්ඩ්‍රම් ක්වැඩිරිලෝකුලරේ නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන වැලන්ටයින් ශාකය මීටර පහක් දක්වා උසට වැඩෙන අතර පත්‍රයක් අඟල් හතක පමණ දිගැතිව වැඩේ.

තද කොළපැහැති පත්‍රයේ යටි පැත්ත දම්පාටින් යුතුවන බැවින් පහසුවෙන් හඳුනාගත හැකි ශාඛයකි. මල් හටගැනීමෙන් අනතුරුව ඇතිවන ඵලය කුරුල්ලන් ආහාරයට ගත්තද ඔවුන්ගේ උදරයේදී එහි බීජය ජීර්ණය නොවී මළපහ සමග දිවයින පුරාම ව්‍යාප්ත වීම සිදුවේ. මුල් සහ පුංචි අතුකැබලි වලින් ද නව ශාක හටගන්නා බැවින් එය වඳ කිරීම පහසු කටයුත්තක් නොවේ. මැලේසියාවේ මෙම ශාකය වඳ කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදල් වැයකැර තිබේ.

පරිසරවේදීන් පවසන්නේ මේ ශාකය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අලංකා කිරීමට බවයි.

ඕනෑම ශුෂ්ක පරිසර තත්වයේදීත් උඩරට ශීත දේශගුණයේදීත් එක හා සමාන ලෙස වර්ධනය වන වැලන්ටයින් ශාකය ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට මැනවින් අනුවර්ථනය වී තිඛෙන බව පෙනීයයි.

පරිසරවේදීන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ පරිසරයට අතිශය හානිකර ශාකයක් වූ වැලන්ටයින් ශාකය මෙම දිනවලදී පහසුවෙන් හඳුනාගත හැකි බැවින් ඒවා කපා දමා ගිනි තබා විනාශකොට ශ්‍රී ලංකාවේ වටිනා පරිසර පද්ධතිය රැකගත යුතු බවයි.

(ඡායාරූප ජූඩ් සමන්ත)