අඩු ආදායම් ලාභීන්ට ගෙවල් හදන වැඩෙි භාගයක් අවසන්


(අංජුල මහික වීරරත්න)

“ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

ඒ අනුව 2021 වසරේදී නිවාස 12231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6039ක වැඩ අවසන් කර තිබේ. එමෙන්ම 2022 වසරේදී නිවාස 1465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.

මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ  පමණක් නිවාස 1215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත. එමෙන්ම මිනුවන්ගොඩ ආසනයේ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ. මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන් කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී තිබේ.