අටේ ලක් මැර කල්ලිය ඉතාලියේදි අල්ලයි


ඉතාලියේ සිසිලි දිවයිනේ මෙස්සිනා  නුවර ක්‍රියාත්මකවූ ශ්‍රී ලාංකික මැර කල්ලියක් පොලිස් අත්අඩංගුවට පත්වූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔවුන් සිටි ස්ථානයේ තිබී පිහි, කිනිසි, යකඩ පොලු, යකඩ දම්වැල් සහ මෝටර් බයිසිකල් සොයාගත් බව එම වාර්තා සඳහන් කරයි. පොලිසිය විශ්වාස කරන්නේ කාලයක් තිස්සේ මෙම කණ්ඩායම විසින් ක්‍රියාත්මක කර ඇති බරපතල අපරාධ සඳහා මෙම ආයුධ පාවිච්චි කරන්නට ඇති බවයි.

අටදෙනෙකුගෙන් යුතු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුයම කාලයේ සිදුකල වැටලීමකිනි.

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගෙන් කප්පම් ගැනීම, මුදල් කොල්ලකෑම,බරපතල ශාරීරික අඩන්තේට්ටම් කිරීම, පහරදීම් සහ කල්ලි ගැසී භීතිය පැතිරවීම මෙම පිරිස වෙත එල්ලවී ඇති චෝදනා බවද එම මාධ්‍ය වාර්තා දක්වා ඇත.

මෙස්සිනා නගරය ආශ්‍රිතව මෙවැනි මැර කල්ලියක් ක්‍රියාත්මක වන බවට ආරංච්වීමෙන් පසුව 2011 දී ඉතාලි පොලිසිය මේ පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත. 

පොලිසිය පවසන අන්දමට මෙම කණ්ඩායම සම්බන්ධ නීති විරෝධී ක්‍රියාදාමයන් පිළිබඳව මාධ්‍ය වාර්තාවල  සඳහන්ව ඇත්තේ මෙපරිද්දෙනි.

2011 දී ශ්‍රී ලාංකිකයෙකුට පහරදී ඔහුසතුව තිබු රුපියල් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාලයක් බලහත්කාරයෙන් පැහැරගෙන ඇත.

2012 ඔක්තෝබර් මාසයේදී එම පුද්ගලයාටම නැවත වතාවක් පහරදී ඔහු සතුව තිබු යුරෝ 400 ක්  සහ ඔහුගේ පෞද්ගලික ලියකියවිලි කොල්ල කා ඇත. එම පහරදීමේදී කැඩුන බෝතලයක් පාවිච්චිකර තුවාල සිදුකර ඇතිබවත් පහරදීම් සඳහා යකඩ දම්වැල් සහ බයිසිකල් චේන් පාවිච්චිකළ බව පොලිසියට රපොර්තුකර තිබුණි.

2013 මැයි මාසයේදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ නිවසට කඩා වැදී ඔහුට පහරදී කොල්ලකෑමට පැමිණි මෙම කල්ලියේ දෙදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

දැනට මෙම කල්ලියේ අටදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉදිරියේදී මෙම අපරාධයන්ට සම්බන්ධ සියලුමදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත් ඉතාලි පොලිසිය පවසා ඇත.

මෙම කණ්ඩායම උසාවියට ඉදිරිපත් කිරීමටත් ඔවුන් වෙත එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් නිසි අයුරින් දඬුවම් ලබාදීමටත් පොලිසිය ක්‍රියා කරනු ලබන බවද එම වාර්තාවල සඳහන්වෙයි.

එම මාධ්‍ය වාර්තාව සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කණ්ඩායම වශයෙන් හඳුන්වාදී මේ සමඟ ඇති ඡායාරුපයද පළකර තිබුණි.

ජනගහනය අතින් සිසිලි දුපතේ ඇති නගර අතරින් මෙස්සිනා නුවර පත්වන්නේ තුන්වන තැනටය. එහි සම්පුර්ණ ජනගහනය 2,40,000 පමණ වෙති. සැලකියයුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද සිසිලි දුපතේ ජීවත්වෙති. ඒ හැමදෙනාම ධෛර්ය වන්ත, නීති ගරුක සහ ආචාරශීලී පිරිසක් වෙති. මෙවැනි අපරාධ වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් මුළු ඉතාලියේම ඇත්තේ ඉතාම අතලොස්සක් බව මේ ප්‍රවෘත්තිය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලාංකිකයෙක් පැවසීය.කෙසේවුවද මෙවැනි වාර්තා පලවීම නිසා අනෙකුත් ශ්‍රී ලාංකිකයින්හට ඉදිරියේදී ප්‍රශ්න පැනනැගිය හැකිබවද ඔහු කීවේය.