අටළුගම ඉතිරි ග්‍රාමසේවා වසම් හෙට සිට නිදහස්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 

 
                                      
බණ්ඩාරගම අටලුගම හුදකලා කර ඇති ඉතිරි ග්‍රාම සේවා වසම් හතර හුදකලා බවින් හෙට (23) දින සිට ඉවත් කිරීමට  හැකියාවක් ඇති බව සඳහන් නිර්දේශය  ලිඛිතව  කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත  යොමු කළ බව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් රුවනි  සමරතුංග මහත්මිය පැවසුවාය.
 
                     
ප්‍රාදේශීය ලේකම්වරිය එසේ පැවසුවේ අටුලුගම ඉතිරි ග්‍රාම සේවා වසම් වල හුදකලා බව ඉවත් කිරීමට සුදුසුදැයි යන්න ප්‍රාදේශීය කොවිඩ් කමිටුව රැස්වී  තීරණය දැනුම් දෙන ලෙස  දිස්ත්‍රික් ලේකම් තුමා විසින්  ලබාදුන් උපදෙස් මත එම කමිටුව රැස්වී ගත් තීරණය අනුව ය.
 
බණ්ඩාරගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන්  එම කමිටු රැස්වීම පැවැත්විණි .
 
ඉකුත් නොවැම්බර් මස 21 වෙනි දින අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් නවයක් හුදෙකලා තත්ත්වයට පත් කෙරිණි.
 
ඒ අනුව  අටලුගම  නැගෙනහිර ,අටලුගම බටහිර, ගල්ගේ මණ්ඩිය හා බෝගහවත්ත යන ග්‍රාම සේවා වසම්වල හුදකලා බව ඉවත් කිරීමට සුදුසු  වාතාවරණයක් ඇති බවට  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය කමිටුව වෙත ප්‍රකාශ කළාය. 
 
හුදෙකලා බව ඉවත් කළ ද   අටුලුගම ඇතුළු හුදෙකලා කරන  ලද ග්‍රාම  සේවා වසම් වල පදිංචි ස්ථිර ව්‍යාපාරිකයන් ,පදික වෙළඳුන් මෙන්ම ජංගම සංචාරයේ නියුතු වෙළඳුන් පි සි ආර් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කළ බව සඳහන් වාර්තාව  තම සන්තකයේ තබා ගැනීම  අනිවාර්ය බව ද  , එසේ නොමැති නම් එළඹෙන සදුදා එම පරීක්ෂණයට ඉදිරිපත්ව එම වාර්තාව ලබා ගන්නා ලෙස  එම ජනතාව දැනුම්වත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. 
 
එම වෛද්‍ය වාර්තාවක් නොමැති කිසිවෙකුට  ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට අවසර ලබානොදීමට  තවදුරටත් තීරණය කළේය.