අජිත් මාන්නප්පෙරුම මැති සබේ


බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී  අජිත්  මාන්නප්පෙරුම  මහතා (එජාප)  ගමිපහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු ලෙස  පාර්ලිමේන්තුවේදී අද (04) දිවුරුම් දුන්නේය.

දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ  අභාවයෙන් මේ පුරප්පාඩුව ඇති විය.

ගම්පහ සාමාන්‍ය පවුලක පස්දෙනකුගෙන් යුත්  පවුලක එකම පිරිමි දරුවා වු  අජිත් මාන්නප්පෙරුම ගම්පහ  සිරිකුරුස විදුහලේ  ප්‍රාථමික අධ්‍යාපනය  හමාර කර කොළඹ ආනන්ද  විදුහලට ඇතුලත් වුයේ  එකළ පැවති  ශිෂ්‍යත්ව විභාගයෙන්  දිවයිනේ ඉහළම ලකුණු ලබා ගත් සිසුවකු ලෙසිනි.

කොළඹ ආනන්දයේ දීප්තිමත් ශිෂ්‍යකු වු  හෙතෙම  උසස් පෙළ විභාගය ද උසස් ලෙස  සමත් වී  මොරටුව විශ්ව විද්‍යාලයයේ  සිවිල් ඉංජිනේරු පිඨයට ඇතුලත් විය. සිවිල් ඉංජිනේරුවකු ලෙස  උගත් දෙයින් උපරිම  ප්‍රයෝජන ගත්  මාන්නප්පෙරුම මහතා  එකළ විදුලිබල මණ්ඩලයට උපාංග සැපයු  දිවයිනේ ප්‍රධානතම සැපයුම්කරු විය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  මහතා ගම්පහ  රැස්වීමකට පැමිණි අවස්ථාවකදී 2000 වසරේදී    මාන්නප්පෙරුම මහතා  වික්‍රමසිංහ මහතාට දිවා භෝජන සංග්‍රහයක්  සිය නිවසේ  සුදානම් කළේය.මාන්නප්පෙරුම  දේශපාලන චරිතය කළ එළි බහින්නේ එතැන් සිටය.

‘‘ අජිත්ට පුළුවන්  අපේ පක්ෂය සමඟ එකතු වෙලා  කටයුතු කරන්න.‘‘ යැයි රනිල් වික්‍රමසිංහ  මහතා කළ ප්‍රකාශයට  ගරු කරමින් දේශපාලනයට පිවිසි  අජිත් මාන්නප්පෙරුම 2002 වසරේදී පැවති  ගම්පහ මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින්  වාර්තාගත මනාපයක් ලබා ගනිමින්  ගම්පහ මහ නගරසභාවේ   ප්‍රථම පුරපතිවරයා බවට පත්විය.

ගම්පහ නගරයේ  සංවර්ධනයට දැඩි අවධානයක් යොමු කරමින්  නගරය සංවර්ධනය කළ ඒ මහතාට 2006 වසරේ දී  පැවති මහ නගරසභා මැතිවරණයෙන්ද  වැඩිම මනාප රැගෙන  දෙවැනිවරටද නගරාධිපති ධුරය  හිමි වීම සුවිශේෂි අවස්ථාවකි. මුළු රටේම  පළාත්  පාළන ආයතන පවතින  රජය ජය ගනිද්දී  ‘‘ නිල් බලකොටුක් ලෙස  ප්‍රකට ගම්පහ  ජයගැනීමට හැකි වුයේ  අජිත් මාන්නප්පෙරුම නැමති  සුවිශේෂි  චරිතය නිසා බව  දේශපාලන නීරීක්ෂකයින්ගේ මතය විය.

ගම්පහ සංවර්ධනයේ  නියමුවකු ලෙස  කළ කාර්යභාරය  නිසාම  බස්නාහිර පළාත් සභාවට තේරී පත්වු  අජිත් මාන්නප්පෙරුම මහතා  විශාල සංවර්ධනයක්  ප්‍රදේශයට ඉටු කළේය.

2010  පැවති මහ මැතිවරණයෙදී  මනාප ඡන්ද 44821  ක් ලබා මනාප ලැයිස්තුවේ  හයවැනියා වු  අජිත් මාන්නප්පෙරුම මහතාට තව දුරටත් පළාත් සභාවේ  රැදී සිටිමට සිදු වුයේ  එවර මැතිවරණයෙන්  ගම්පහ  දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුව මන්ත්‍රී  ධුර පහකට සීමා වීම නිසාය.